(නාද රටාව – කිරලා වන්නම)
තම්දෙන තනෙන තනා – තන තම්දෙන – තම්දෙන තනෙන තනා……
තෙයි තන තතන තනා – තන තම්දෙන – තෙයි තන තතන තනා …….
සුර පුරටම යන්නා – වගෙම නෙවැ – කදිමට දිස් වෙන්නා
නිර්මල බව පෙන්නා – සුධා ධවල වු – ගිරි හිස බබළන්නා
තිබෙනා මිහි මඬලේ – ගිරි කුළු – අතුරින් මුල් වන්නී
හිමාල කඳු වැටියේ – ඉහළම – ගිරි කුළ ඇය වන්නී
තම්දෙන …….
උත්තම බව දන්නා – භාරත පුතුන් – ඇය ගරු කරමින්නා
දෙවඟනකියි ගන්නා – “සගර්මාතා” – හිමිදිරියේ පුදනා
සුදු ඇත්තෝ එන්නා – “එවරස්ට්” – නාමය උන් දුන්නා
එනමුත් ඇය දන්නා – අප හට – “සගර්මාතා”ම වෙන්නා
තම්දෙන …….
රට දියුණට යන්නා – ඉතිකින් – පැක්ටරි බිහි වෙන්නා
විස දුම් පැතිරෙන්නා – ඉඳකින් – සගර්මාතාව වැහුණා
සැදැහැතියෝ එන්නා – තැතිගෙන – ළෙහි අත් ගසමින්නා
දෙවඟන කොයි යන්නා – දැයි කියමින් – අඬා හෝගාන්නා
තම්දෙන …….
කොරෝනාව එන්නා – සේරොම – පැක්ටරි ටික වැහුණා
වාහන නතර වුණා – විස දුම – හොඳටම ඉවර වුණා
මොකද්දෑ උනේ ඉතින් …
අන්න බලන් සකි මෙන්න බලන් සකි – ඇස් අදහාගන්නට බැරි වෙනවා!
නිල්වන් අහසේ සුරපුර වෙත යන – “සගර්මාතා”ව දැන් දිස් වෙනවා!!!
සුධා ධවල නිර්මල වූ ගිරි කුළ – යස කදිමට ආං වැජඹෙනවා
අනේ කොරෝනා නුඹගේ හොඳකුත් – ඔන්න ඉතින් දැං කියවෙනවා.
තක දොං – දැන් නං කියවෙනවා.